Mar 15

20 ට 25 ට 30 ට පිස්ටල් තියනවා -අම්බලන්ගොඩ ගිනි අවි කම්හලක් වටලයි

පාතාල සාමාජිකයන්ට අවි සැපයීම සඳහා අම්බලන්ගොඩ, වතුගෙදර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වටලා ඒවා නිෂ්පාදනය කළ යුද හමුදාවෙන් පළා ආ සෙබළකු සහ තවත් අයකු කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගනු ලැබිය.

යුද හමුදාවේ කාල තුවක්කු රෙජිමේත්තුවේ සේවය කර ඉන් පළා ආ බෙන්තර, ආරච්චිමුල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ප්‍රධාන සැකකරු සහ ගිනි අවි නිෂ්පාදනයේදී ලේත් මැෂින් ක්‍රියාකරු ලෙස කටයුතු කල 64 හැවිරිදි පුද්ගලයකු ගිනි අවි තුනක්ද සමග අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ ඒකකය පවසයි.

මෙරට නිෂ්පාදනය කරන ලද රිවෝල්වරයක්,ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්.බෝර 12 ගිනි අවියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මිලි මීටර් 09 ගිනි අවිවලට යොදන උණ්ඩ කීපයක්ද, විවිධ ප්‍රමාණයේ පතොරොම් කොපු කීපයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරින් ඉකුත් වසරේදීත් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව පොලිස් උපාය දුතයකු, ගැනුම්කරුවකු ලෙස යොදවා පානදුර නගරයේදී සැකකරුගෙන් ගිනි අවියක් මිලදී ගැනීමට ඊයේ (14) පෙරවරුවේ කටයුතු යොදා තිබුණි.
ප්‍රධාන සැකකරු එම ගිනි අවිය සඳහා පොලිස් උපාය දුතයාගෙන් රුපියල් විසි දහසක මුදලක් ඉල්ලා තිබූ අතර,ඔහු ගිනි අවිය රැගෙන පානදුරට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා ලදී. මෙම යුද හමුදා සෙබළා සිය බිරිඳට අයත් අම්බලන්ගොඩ,වතුගෙදර ප්‍රදේශයේ මම ගිනි අවි කර්මාන්තශාලාව පවත්වාගෙන ගොස් ඇත.
ඔහු නිෂ්පාදනය කරනු ලබන ගිනි අවි රුපියල් විසි දහස,විසිපන් දහස සහ තිස් දහස ආදී විවිධ මිල ගණන්වලට අලෙව් කර ඇතැයි අනාවරණය වී ඇත.සිය සහෝදරයාට දැනට කාලයකට ඉහතදී කිසියම් පිරිසක් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු තමා ගිනි අවි නිෂ්පාදනය කළ බව ප්‍රධාන සැකකරු පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *