Dec 26

දෙව්ලොවත් අපායත් මනුලොවදි නරඹන්න එන්න ඕවිටිගල ශ්‍රී සුනන්දාරාමයට

පිනෙන් පොහොසත් වූවෝ සුවපත් වෙති. දුසිරිතෙහි නිරත වූවෝ දුකට පත් වෙති. සත්වයෝ කෙළෙස්‌ ඇති තෙක්‌ සසර ඇවිදිති. ඒ අතරතුර රැස්‌ කරන කර්මයන්ගේ මහිමයෙන් තමාගේ උරුමය තමා විසින්ම නිශ්චය කර ගිනිති. සුගතියට හෝ දුගතියට හිමිකම් කියනුයේ ඒ අනුවය. මිනිසත් බව ලැබූවකු යම් හෙයකින් දුගතියට (අපායට) පත් වුවහොත් එය බරපතල වරදවා ගැනීමකි. එහෙයින් දේශකයෝ පවෙහි අකුසලයෙහි බිහිසුණු බව අවධාරණය කරමින් දුගතියෙන් මිදීමට සුගතියට පත්වීමට මග පෙන්වා දුන්නාහ. පවෙන් පිරුණු සමාජයට එකී බුදු ඔවදන මතක්‌ කරදීමට සතර අපාය මූර්තිමත් කරවීමේ සිතුවිල්ල ඕවිටිගල ශ්‍රී සුනන්දාරාම විහාරස්‌ථානාධිපති, කළුතර දිස්‌ත්‍රික්‌ උප ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්‌ඩිත ඕවිටිගල සුමේධ හිමියන්ට පහළ වූහ. උන්වහන්සේගේ පූර්ණ අනුග්‍රහය සහ මඟපෙන්වීම යටතේ මතුගම බෝපිටියේ ටී.එම්.ඩී. අමිල ප්‍රදීප් තරුණ නිර්මාණකරුවා විසින් මෙම සතර අපාය නිර්මාණය කර ඕවිටිගල ශ්‍රී සුනන්දාරාම විහාරස්‌ථානයේ ස්‌ථාරව විහාරාංගයක්‌ ලෙස විවෘත කරන ලද්දාහ.

අපායට ඇතුළු වන තැනම වම් පස බිත්තියේ නෙළා ඇති චිත්‍රවලින් පෙන්නුම් කරන්නේ කෙනෙක්‌ මනුෂ්‍යයෙක්‌ ඝාතනය කරන ආකාරයයි. ඒ චිත්‍රයෙන් එහාට යන දෙනෙත්හි රැඳෙන්නේ කාමයේ වරදවා හැසිරෙන මූර්තියකි. දෙනෙත් දකුණු පසට කැරකැව් විට ඇස්‌ කාචයේ රැඳෙන්නේ කෙනෙකුගේ දෙයක්‌ කඩා වඩා ගන්නා හැටි දැක්‌වෙන චිත්‍රයකි. දකුණුපස බිත්තියේම ඊළඟ මූර්තියෙන් දැක්‌වෙන්නේ මුගලන් මහ රහතන් වහන්සේට හොරු කල්ලියක්‌ පොලු මුගුරුවලින් පහර දෙන අයුරුය. මුගලන් මහ රහතන් වහන්සේ මෙම ආත්මභාවයේදී රහත්භාවයට පත්වුව ද හොරුන්ගේ පහර කෑමට ලක්‌ වූයේ පෙර ආත්ම භාවයකදී මුගලන් තෙරුන් විසින් ඔහුගේ දෙමවුපියන්ට පහරදුන් අකුසලයටය. ඊළඟ චිත්‍රයෙන් දැක්‌වෙන්නේ බුදුරජාණන්වහන්සේට චිංචිමානවිකාවන් අගෞරව කරන චිත්‍රයකි. බුදුන්ගේ හිස මතට දෙව්දත් ගල පෙරළන අයුරු දැක්‌වෙන මූර්තිය අසලිsන් ඉහළට හැරුණු විටම යම රඡ්ජුරුවන් රෞද්‍ර ලීලාවෙන් රාජාසනයේ සිට නඩු විභාග කරන මූර්තියකි. වටේට ආයුධ අතින් ගත් යමපල්ලන්ය. යම රඡ්ජුරුවෝ ඉදිරිපිට අවීචි නකරයේ මිනිසුන්ව පිච්චෙන ආකාරයේ මූර්ති පෙළකි. බුර, බුරා නඟින ගිනිදැල් හරි අපූරුවට නිර්මාණකරුවා විසින් මූර්තියට නඟා තිබෙන්නේය. ඊට පිටුපසින් ලෙඩෙක්‌, මහල්ලෙක්‌, මළ කඳක්‌ දැක්‌වෙන මූර්ති චිත්‍ර පෙළකි. ඒ ආසන්නයේ එල්ලුම ගහේ එල්ලා මැරීමට සූදානම් වැරැදිකරුවෙක්‌ සහ එල්ලුම ගස දැක්‌වෙන මූර්තියකි.

එතැනින් එහාට හැරුණු විට හමුවන්නේ තිරිසන් අපායයි. උපනූපන් තැන්වල නිරතුරුව බියෙන් යුතුව පිළිසරණක්‌ නැතිව දුක්‌ත ජීවිත ගත කිරීම තිරිසන් අපායේ උරුමයයි. තිරිසන් අපායට නියමිත නිශ්චිත ස්‌ථානයක්‌ නැත. අපා, දෙපා බහුපා සත්වයන් හා විවිධ ස්‌වරූපයේ තිරිසන් සත්ව සමූහයාම නිර්මාණකරුවා විසින් අතිශය සියුම් ලෙස සිතුවමට නඟා ඇත. එමෙන්ම ප්‍රේත ලෝකයේ හිස්‌ ගෙඩියන් සේ මිනිසුන් සොටු පෙරාගෙන, විරූපී මිනිසුන් දැක්‌වෙන මූර්ති නරඹන ඔබ, අපට මෙලොවදී කරන, කියන නරක දේවල්වල විපාකය හොඳින් පසක්‌ කර දී තිබේ. අතිශයින්ම විරූපී පිළිකුල් සහගත දුටුවන්ට අප්‍රිය වූ ශරීර ඇත්තෝ ප්‍රේතයෝය. දුක පමණක්‌ම උරුමය කර ගත් ප්‍රේතයෝ කුසගිනි නිවෙන්නට ආහාරයක්‌ පවස නිවෙන්නට වතුරක්‌ කිසිදා නොලබති. කොතෙක්‌ ආහාර ජලය නොලදත් අකුසල බලය නිසා නොමියෙති. බොහෝ කල් ජීවත් වෙති. අතිශය අපිරිසිදු දේ වන සෙම්, සොටු, අසූචි, ලේ, සැරව, මළකුණු, ඉවතලන කෑම සුළුදිය ආදිය ආහාර වශයෙන් ගනිති. ප්‍රේතයන්ට ද නියමිත භූමියක්‌ නැත.

ප්‍රේතලෝකයෙන් ඈත් වෙන දෙනෙත් අසුර නිකායේ නැවතිණි. අසුරයෝ දේව ගණයට අයත් වූවෝ හා ප්‍රේත ගණයට අයත් වූවෝ යෑයි දෙකොටසකි. ෙච්පචිත්ති, සුචිත්තී, පහාරාද වැන්නෝ දේව ගණයට අයත් අසුරයෝය. ඔවුහු වරින් වර දුක සැපවලට මාරු වෙති. ප්‍රේතයන් මෙන් සදහටම දුක්‌විඳින අසුරයෝ ප්‍රේත කොට්‌ඨාසයට අයත් වෙති…

‘ආහ්… ආහ්… උඹ අහිංසක සත්තු මැරුවා… හම්… හොරකම් කළා හම්…’ උඹ රහමෙර පානය කළා… ආහ්… ආහ්… සියලුම පස්‌ පව් කරලා තමයි උඹ මෙහාට ආවේ. දැන් ඉතිං ගෙවනකම් විඳවපල්ලා.

‘බුදු අම්මෝ… මට නම් බෑ මෙතැනින් එහාට යන්න…’ යමරඡ්ජුරුවන්ගේ ගෝර නාඩුවට මා ඉදිරියෙන් ගමන් කරමින් සිටි පුංචි කොලු පැටියා දෙඅතින්ම දෙසවන් තද කර ගත්තේය.’කන් වහගත්තට බේරිල්ලක්‌ නෑ. පව් කළොත් මෙතැනට එන්න වෙනවා…’ පුංචි පුතාට තම මව ඒ ඔවදන දුන්නේ තම පුතුව පවෙන් මුදාගැනීමට මිස තව, වත් බියට පත් කිරීමට නොවන බව ඇයගේ මුහුණේ ඇඳුණු ඉරියව්වලින් අපට පසක්‌ විය.

නියෝන් එළි සහිත අඳුරු කොන්ක්‍රීට්‌ ගුහාව තුළ තැන, තැන නෙළා ඇති චිත්‍ර ඕනෑම හදවතක්‌ තිගස්‌වන සුලුය. මූර්ති සිතුවම් අතිශය අලංකාරය. නිර්මාණකරුවා විසින් පොත, පත පරිශීලනය කර සිතේ ඇඳගත් චිත්‍රය ඒ ආකාරයෙන්ම බදාම ගුලි අතර සිත්තම් කර ඇත. පවෙන් පිරුණු අපේ සමාජයට සැබෑවටම අපායක්‌ තිබෙන බව මතක්‌ කරදීමට නිර්මාණකරුවා දැරූ කැපවීම සහ උත්සාහය අති විශිෂ්ටය. එමෙන්ම එය මහා පුණ්‍යකර්මයකි.

අපාය නිර්මාණකරු ගැන අපගේ සිතේ පහන් හැඟීම් මතු වන විට ලෝදිය හැලියේ පිච්චි, පිච්චි මරළතෝනි දෙන මිනිසුන් දකින විට සිත වෙව්ලන්නට පටන් ගත්තේය. ලෝදිය හැලියේ පිච්චෙන මිනිසුන්, වැළපෙමින් කටුඉඹුල් ගහේ බඩගාන හැටි, ලී සසින්නා සේ යමපල්ලෙක්‌ මිනිසෙක්‌ව සසිනා අයුරු දැක්‌වෙන සිතුවම් පෙළකි.

සැපතින් සැනසිල්ලෙන් තොර වූ තැන අපාය වේ. කරන ලද දුසිරිත්හි, පාප කර්මයන්හි විපාක විඳීමට නියමිත පාපකාරීහු අපායේ උපදිති. දුෂ්ට කර්කශ අනිෂ්ට ස්‌වභාවයෙන් යුක්‌ත හෙයින් ඒවා දුගති නමින් ද හැඳින්වේ. එවැනි භූමි සරතකි. ඒවා නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත ලෝකය හා අසුර නිකාය යන්නෙන් හැඳින්වේ. එමෙන්ම අතිශයින් කටුක වූ වේදනාවන්ගෙන් පිරි ‘නරකය’ සංජීව, කාල සූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචිය යයි මහා නරක අටකි. සතරැස්‌ වූ මහා නරකයක එක්‌ පෙසකින් සතරක්‌ බැගින් වූ ඔසුපත් නමින් හැඳින්වෙන කුඩා නරකයෝ වෙති. ඒ අනුව එක්‌ මහා නරකයක කුඩා නරක දහසයක්‌ වේ. මහා නරක අටත් ඒවා සතර පස එක්‌ පැත්තකින් සතරක්‌ බැගින් කුඩා නරකයන් වන හෙයින් එක්‌ නරකයක්‌ වටා කුඩා නරක දහසයකි. ඒ අනුව නරකයන් එකසිය තිස්‌ හයක්‌ වේ. උපන් නිරි සතුන් යමපල්ලන් විසින් රත් වූ පොළොවෙහි පෙරළමින් කැබැලිවලට කපද්දී ද තව දුරටත් ජීවත් වන නිසා සංජීව නරකය නම් වේ. අපාගත වූවන් ගිනි ගත් පොළොවෙහි හොවා වෑයෙන් ලී සසින්නා සේ සසින්නා වූ ස්‌ථානය කාලසූත්‍ර වේ. රත් වූ පොළොවෙහි ගිලී ඇති අපා සතුන් මඬිමින්, තලමින් පර්වතයන් පෙරළෙන ස්‌ථානය සංඝාත නම් වේ. සිරුර ඇතුළත හා පිටත දැඩිව දවනු ලැබීමෙන් මහා විලාප නැඟෙන ස්‌ථානය රෞරවය වේ. දැවෙන සිරුරින් අතිශය දුකට පත්ව මහත් වූ විලාපයන්ගෙන් පිරි නරකය මහා රෞරව වන අතර ගිනියම් වූ යපොළොවෙහි ගින්නෙන් දැවෙමින් යකඩ උල්වලින් අමුණා තබන නිරි සතුන් ඇති තැන තාප නරකය වේ.

තාප නරකයේ මෙන්ම අතිශය කුරිරු අයුරින් දීර්ඝ කාලයක්‌ පැසෙන තැන ප්‍රතාප වේ. සදිසාවෙන් මතු වන ගිනිදැල්වලින් වෙලී අතොරක්‌ නැතිව දැවෙමින් අනන්ත දුක්‌ ඇති නරකය මහා අවීචිය වේ. අතිශය පිළිකුල් සහගත වූ පණුවන්ගෙන් පිරි අසූචියෙන් පිරි ගූථ නරකය වේ. අලුයෙන් සැඟවුණු ගිනි අඟුරුවලින් පිරි කුකුක්‌කල නරකය, තියුණු කඩු දැලිපිහි වැනි කොළ ඇති වෘක්‍ෂ ලතාවන්ගෙන් යුත් අසිපත් නරකය හා තියුණු කටුවලින් පිරි ඉඹුල් ගස්‌ ඇති සිම්බලිවන නරකය යයි තවත් නරකයන් සතරක්‌ ඇත්තේය. ගණඳුරින් හා සීතලෙන් පිරි ලෝකාන්තරික නම් වූ නරකයක්‌ ද වන්නේය. මේ නරකයන්හිදී නිරි සතුන් අසීමාන්තික වධ වේදනාවන්ට ගොදුරු වන්නේ නමුදු ඔවුන් කළ පාපකර්මයන්ගේ දුර්විපාකයන් කෙළවරක්‌ වනතුරු ඔවුන්ගේ මරණයක්‌ (චුත වීමක්‌) සිදු නොවේ.

ආනන්තරිය පාප කර්මයන් ප්‍රමුඛ වූ පස්‌ පව් දස අකුසල් හා සමාජ විරෝධී පර පීඩක ක්‍රියාවන් මෙන්ම ඊර්ෂ්‍යා ක්‍රෝධ මානාදී නපුරු සිතුවිලිවලින් මඬනා ලදුව සමාජය පීඩාවට පත් කිරීම, දිළින්දන් පෙළීම, සොරමැරකම් කිරීම, ගුණවතුන්ට හා සිල්වතුන්ට අපරාධ කිරීම, මිත්‍ර ෙද්‍රdaහීවීම, සතුන්ට වදදීමෙන් උන්ගෙන් වැඩ ගැනීම, අනුන්ට නිග්‍රහ කිරීම, අන්සතු වස්‌තුව පැහැරගැනීම, අන්‍යයන්ගේ නිවෙස්‌ ගිනි තැබීම, පණ පිටින් සතුන් පිළිස්‌සීම, කාමුක අපරාධ කිරීම, මිසදිටුගැනීම ආදී පාපකර්මයන්හි ප්‍රතිඵල ලෙස නරකයන්හි උපත ලබනු ඇත.

සිමෙන්ති බදාමයෙන් නිර්මාණය කර ඇති මූර්ති චිත්‍ර වුවද එය නරඹන ඔබ අපට මතක්‌ කර දෙන සත්‍යය නිර්මාණයකට ලඝූ කිරීමට නොහැකි තරම්ය. අපි මිනිස්‌ ලොව ස්‌වභාවය දනිමු. මවු කුසදී මහා දුකක්‌ විඳ මෙලොවට බිහි වී ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සිව් බියෙන් පීඩිතව අවුරුදු සියයකට අඩු කාලයක්‌ ආයුෂ වළඳා මියෑදෙන්නේය. එයින් ඔබ්බට සසරදී ජීවත් වන කාලය කල්ප ගණනින් ගිනිය යුතු දීර්ඝ කාලයකි. එබැවින් නුවණැත්තන් විසින් මෙලොව ගැන කල්පනා කරනවාට වඩා පරලොව ගැන සිතීම ඉතාම වැදගත්ය. ‘මරණං ධම්මිකං සෙයෙHd ඡ් යං වෙ ජීවේ අධම්මිකං’ අධාර්මික ජීවත් වීමට වඩා ධාර්මික මරණය වටනේ යෑයි බුදුරජුන් වදාළහ. ඒ දීර්ඝ සංසාරයේ සැනසිල්ල ජීවත් වන කෙටි කාලයේ කරනු, කියනු, සිතනු ලබන දෙයින් තීරණය වන නිසාය. සතර අපාය නිර්මාණය කර ඕවිටිගල සුමේධ හිමියන් මතක්‌ කර දී ඇත්තේ ඒ බුදු වදනය. අපාය විහාරාංගයට ඉහළ මහළයේ දිව්‍යලෝකය නිර්මාණය වෙමින් තිබේ. තව නොබෝ කාලයකින් ඔවිටිගල ශ්‍රී සුනන්දාරාම විහාරස්‌ථානයට යන සැදැහැවතුන්ට දිව්‍යාලෝකය දැකබලාගැනීමට ද වාසනාව උරුම වනු ඇත.1870 දශකයේ ආරම්භ කරන ලද ඕවිටිගල ශ්‍රී සුනන්දාරාම විහාරස්‌ථානයේ ප්‍රථම නායක ස්‌වාමීන් වහන්සේ ලෙස වැඩ වාසය කර ඇත්තේ ඉඳුරුවේ මේධංකර ස්‌වාමීන් වහන්සේය. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු පන්නිල ධම්මජෝති නායක ස්‌වාමීන් වහන්සේ, බදුගම සරණංකර ලොකු හාමුදුරුවන් වහන්සේ, ඕමත්තේ සෝමරතන නායක ස්‌වාමීන් වහන්සේගෙන් පසුව 1981 වර්ෂයේදී ඕවිටිගල ශ්‍රී සුනන්දාරාමයේ විහාරාධිපති ධුරයට පත්වනු ලැබුයේ, කළුතර දිස්‌ත්‍රික්‌ උප ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්‌ඩිත ඕවිටිගල සුමේධ හිමිය. ගරාවැටෙමින් තිබූ ඕවිටිගල විහාරස්‌ථානයේ දියුණුවට උන්වහන්සේ කළ මෙහෙය අප්‍රමාණය. විහාරස්‌ථානයේ පැරැණි ගොඩනැඟිලි සියල්ල ප්‍රතිසංස්‌කරණය කෙරිණි. ධාතු මන්දිරය, දහම් පාසල් ගොඩනැඟිලි අලුතින් ඉඳිකෙරිණි. 2001 වර්ෂයේදී ඕවිටිගල ශ්‍රී සුනන්දාරාම විහාරස්‌ථානය පිරිවෙනක්‌ බවට පරිවර්ථනය විය. මේ වන විට ඕවිටිගල විහාරස්‌ථානය සියලු විහාරාංගවලින් අංගසම්පූර්ණය. ඕවිටිගල පන්සල මිණිපහනක්‌ ලෙස පස්‌දුරන් කෝරළයේ බැබළවීමට ඕවිටිගල බදුගම, පින්වත් දායක දායිකාවන්ගේ නොමසුරු දායකත්වය, කැපවීම ආශිර්වාදයක්‌ වී ඇති බවද මතක්‌ කළ යුතුය. එමෙන්ම ඕවිටිගල විහාරස්‌ථානයේ වර්ෂ අවසාන පින්කම් මාලාව ඕවිටිගල, බදුගම දෙගම්වාසීන්ට අලුත් අවුරුද්දට මහත් වූ ආශීර්වාදයක්‌ බව ද සිහිපත් කළ යුතුය. 1985 වර්ෂයේ සිට අඛණ්‌ඩව පවත්වාගෙන එන වර්ෂ අවසාන පින්කම් මාලාව මෙවරද ඕවිටිගල ශ්‍රී සුනන්දාරමයේදී මේ මස 25 වැනිදා සිට නව වසරේ පළමුවැනිදා දක්‌වා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව ද සිහිපත් කළ යුතුය. බෝධි පූජා, ධර්ම දේශනා, තිස්‌පෑහතේ මහා පරිත්‍රාණ ධර්ම දේශනාවකින් නව වසරට සෙත් ප්‍රාර්ථනා කරන පිංකම් මාලාව පළමුවැනිදා මුරුතැන් දේව පූජාවෙන් අවසාන වනු ඇත. එමෙන්ම පින්කම පැවැත්වෙන සෑම දිනම නැටුම් සංදර්ශන, නෙක විසිතුරු විදුලි බුබුළින් විහාර භූමිය විචිත්‍රවත් වනු ඇත.

පින්කමට සහභාගි වන සියලු සැදැහැවතුන්ට අපාය නැරඹීමට මෙන්ම තවමත් සිත්තම් වන දිව්‍යලෝකය දැකබලාගැනීමට ද අවස්‌ථාව උදාකර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *