Mar 12

මට ඉස්කෝලෙ යන කාලෙ කිව්වේ “ගැට බෙරේ” කියලා – ගයාත්‍රී ඩයස්

මට ඉස්කෝලෙ යන කාලෙ කිව්වේ
“ගැට බෙරේ” කියලා
– ගයාත්‍රී ඩයස්

පසුගිය සතිඅන්ත පුවත්පතක ‘ගැටිස්‌සිකාලේ‘ නමැති විශේෂාංගයකට එක්වූ ප්‍රකට රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් සිය අතීත කාලය මෙනෙහි කරමින් මෙසේ අදහස් දක්වා තිබේ.

‘ඒ කාලේ මම හරි දඟයි. මොකක්‌ හරි හිතුවක්‌කාරකමක්‌ දඟ වැඩක්‌ කොහේ හරි වුණොත් මොකක්‌ හරි නැති වුණොත් ඉස්‌සරහින්ම ඉන්නේ මම. ඉතිං ඒකාලේ මාව සහ මගේ යාළුවන්ව හැඳින්වුණේ දඟකාර චරිත විදිහට තමයි.
පාසලේ අපි හතර පස්‌ දෙනෙක්‌ එකටම හිටියා. කොච්චර දඟ කරත් අපි හතර පස්‌දෙනා තමයි
පන්තියේ පළවැනි දෙවැනි ස්‌ථාන පිළිවෙළට අරගත්තේ. ඉස්‌කෝලේදී ක්‍රීඩා කෙරුවා. පෙරදිග අපරදිග තූර්යවාදක කණ්‌ඩායම් දෙකේම මම හිටියා. පාසලේ මම හරිම ජනප්‍රිය චරිතයක්‌.
මම පාසල් ජීවිතෙන් සමුගන්න ගමන්ම වගේ විවාහ වුණා. ඉතිං මට පාසලෙන් පස්‌සේ ලොකුවට යාළුවෝ ඇසුරු කරන්න එහෙ මෙහෙ යන්න ඉඩ ලැබුණේ නෑ. නමුත් කරපු කියපු ඔක්‌කොම තියෙන්නෙ පාසල් කාලේ තමයි. ඒ කාලේ අපි ආසම දේ තමයි පාසලෙන් එහා පැත්තේ පන්සල් වත්තට පැනලා තැඹිලි කඩාගෙන බීපු එක තමයි.
මම පාසල් හතරක ඉගෙනගෙන තියෙනවා. ඉතිං ඒ පාසල් හතරෙම මට යාළුවෝ හිටියා. මට හොඳටම මතක තම් තමයි රසිකා ප්‍රියදර්ශනී. පින්තු තමයි අපි කිව්වේ. තව මතකයි ශ්‍රියානි ප්‍රියංකා නමුත් අද මට ඒගොල්ලන්ව හම්බුවෙන්නෙ නෑ. මම තෝරගත්ත ක්‍ෂේත්‍රයත් එක්‌ක ඒගොල්ලන්ව මට මග ඇරුණා.

කල්ලි ගැහුණු විශේෂ තැනක්‌ නෑ. නමුත් ස්‌කූල් කට්‌ කරලා යාළුවන්ගෙ ගෙවල්වල යන්න අපි හරි ආසයි. පන්තියේ යාළුවෙක්‌ අසනීප වුණොත් අපි අනිවාර්යයෙන්ම එයාව බලන්න යනවා. ගිය ගමන්ම මම කරන්නෙ එයාව බදාගෙන ඉඹින එක තමයි. ඒ මටත් ලෙඩේ බෝ කරගන්න. එතකොට ස්‌කූල් කට්‌ කරන්න පුළුවන්නේ. ඔහොම වැඩ තමයි ඉතිං අපි කෙරුවේ.

මම තූර්යවාදක කණ්‌ඩායමේදී වාදනය කෙරුවේ ගැටබෙරය. ඉතිං මට “ගැටබෙරේ” කිව්වා. මට මතකයි ඉස්‌කෝලේ යන කාලේ අරලිය පත්තරේ මගේ කවරයක්‌ ගියා. ඉතිං එදා ඉඳන් කොල්ලෝ “නිළිය” කිව්වා. ඒ වගේම ඉස්‌කෝලෙකට මම අලුතින් ගිහාම මාව රැග් කරා. කොල්ලෝ ටොෆි ගේන්න කිව්වම මම “බන්ටි” ටොෆි ගෙනාවා. එදා ඉඳන් “බන්ටි” කිව්වා.

ඒ කාලේ මට තිබුණු ලොකුම බලාපොරොත්තුව තමයි නිළියක්‌ වෙන එක. ඒ නිසාම පාසලෙන් අස්‌වෙච්ච ගමන්ම මට රඟපාන්නත් අවස්‌ථාව ලැබුණා.
මගේ ලොකුම විනෝදාංශය තමයි

ක්‍රිකට්‌ ගැහිල්ලයි ගස්‌ නැගිල්ලයි. ඊට අමතරව මම කවි ලියන්න හරිම ආසයි. ඒ කාලේ ලියපු කවි හුඟාක්‌ තියෙනවා මං ගාව. මම හිතාගෙන ඉන්නේ ළඟදීම ඒ කවි ඔක්‌කොම එකතුකරලා පොතක්‌ එළිදක්‌වන්න..!
ඉස්‌කෝලේ යන කාලෙනං ඉතිං කොල්ලො හුඟාක්‌ මගේ පස්‌සෙන් ආවා. මමත් කැමතියි ඉතිං එහෙම හැමෝගෙම ආකර්ශනය දිනාගන්න.

මගේ කොන්ඩෙත් ඒ කාලේ හුඟාක්‌ දිගයි. මම ඉතිං ඕනවටත් වඩා හිතලා තමයි ඒ කාලේ හිටියේ. හැබැයි කොච්චර කොල්ලෝ මගේ පස්‌සෙන් ආවත් මම කිසිම කෙනෙක්‌ එක්‌ක යාළු වුණේ නෑ. මම හරි ආඩම්බරෙන් හිටියේ කොල්ලෝ පස්‌සෙන් එන එකට. ඉස්‌කෝලේ කෙල්ලො ඉතිං මාත් එක්‌ක හරිම ඉරිසියයි! ඒ කරපු දේවල් මතක්‌ වෙනකොට දැන් හිනාත් යනවා.
මගේ දෙමව්පියෝ දෙන්නා එහෙම සැර පරුෂ අය නෙමෙයි. හැබැයි ඉතිං මම කරන සමහර දඟ වැඩවලට අම්මා මට ගහන්න එළවනවා. ඒ වෙලාවට මම කරන්නේ ගහකට නගින එක. මට මතකයි මම දවසක්‌ අම්මා ගහන්න එලවන් එද්දී පොල් ගහක භාගයකට වඩා නැග්ගා. ගෙදරත් මම ඉතිං දඟ මල්ලක්‌ තමයි.

ගුරුවරුන්ගෙන් මට හොඳට මතකයි සුබසිංහ ටීචර්ව. ඊට අමතරව තව ගුරුතුමෙක්‌ හිටියා විද්‍යාව උගන්නපු රාමනායක කියලා. හරිම වසයි. දවසක්‌ රැස්‌වීම ඉවරවෙලා මම පුටුව ගෙනිච්ෙච් නෑ කියලා මගේ ඔළුවට වේවැලෙන් ගැහුවා. ඒ ගහපු පාර තාමත් මට මතකයි.
අහල පහල අය අතරත් මම ඉතිං හොඳ හිත දිනාගෙන හිටියා. අපි රාගම ඉන්න කාලේ මම ඔන්චිල්ලාවක්‌ පැදලා ඒක කඩාගෙන ගිහින් එහා ගෙදර කුණු ගොඩට වැටුණා අද වගේ මතකයි. හැමෝම මට ආදරෙයි. ටිකක්‌ නරකට තියෙන්නෙ මගේ දඟ වැඩ තමයි.

තොරතුරු – මාලක නන්දන (මීවිත)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *