Dec 27

ගඩොලක්‌ දීලා මැණිකක්‌ ගන්න

Give a brick a gem

හැඳින්වීම

සුන්තුමා ගේ “යුද කලාව” පොත ගැන අපි හැමෝම වගේ දන්නවා. ඒ පොත සිංහලට පරිවර්තනය වෙලාත් තියෙනවා. එතුමාගේ මුණුපුරෙක්‌ තමයි සුන් පින්. එතුමා – සුන් පින්, ලියපු යුද කලා පොතකුත් තියෙනවා. ඒ පොත ලියලා තිබුණු උණ පතුරු සෑහෙන ප්‍රමාණයක්‌ විනාශයට පත්වෙලා. ඉතින් ඒ පොතෙන් තවමත් කියවලා තියෙන්නේ පරිච්ඡේද 15 ක ප්‍රමාණයක්‌ විතරයි. සුන් පින් ගේ පොත නම් තවමත් සිංහලයට පරිවර්තනය වෙලා නෑ. මේ ලිපි පෙළින් ඉදිරිපත් කෙරෙන්නේ චීනයේ ඇති යුද කලාව පිළිබඳ තවත් ඉපැරැණි පොතක පරිවර්තනයක්‌. මේ පොත හැඳින්වෙන්නේ උපක්‍රම තිස්‌ හය කියලා. මේ පොතේ පරිච්ඡේද හයක්‌ තියෙනවා. එක පරිච්ඡේදයකින් යුද උපක්‍රම හයක්‌ විස්‌තර කෙරෙනවා.

මේ ලිපි පෙළ ලියන්නේ ඒ යුද උපක්‍රම තිස්‌ හය සිංහල පාඨකයාට හඳුන්වා දීමට. මුලින්ම අදාළ උපක්‍රමය කියලා ඒක විස්‌තර කරනවා. ඊට පස්‌සේ ඒ උපක්‍රමය පහසුවෙන් වටහා ගැනීමට උපකාරී වෙන විදිහේ කතාවකුත් කියනවා.

අද කියන්නේ තුන්වැනි පරිච්ඡේදයේ තියෙන පස්‌වැනි යුද උපක්‍රමය ගැන. මේ පරිච්ඡේදයේ උපක්‍රම අදාළ වෙන්නේ සෘජු පහරදීමක දී යොදා ගැනීමටයි.

උපක්‍රමය

හතුරා බිලීබාගැනීමට නම් ඔහුව ආකර්ෂණය කරගත හැකි උගුලක්‌ ඇටැවිය යුතුය. යුද්ධයේ දී ජයග්‍රහණයක්‌ පිළිබඳව හතුරා තුළ ඇතිකරන මායාව ඒ ආකාරයේ උගුලකි. තමන්ට ජය ලැබිය හැකිය යන අභිප්‍රායෙන් හතුරා ඇම කයි. සැම විටෙකම ඇමට යොදන්නේ අඩු වටිනාකම් ඇති දෙයකි. අල්ලාගන්නේ වැඩි වටිනාකම් ඇති දෙයකි. එනම්, දෙන්නේ ගඩොලකි. ගන්නේ මැණිකකි.

නිධාන කතාව

මේ කතාව අයිති චීනයේ යුද වැදුණු රාජ්‍යයන් ගේ කාලයට. අපි දැන් දන්නවා ඒ කාලයේ චීනයේ අධිරාජ්‍යයෙක්‌ හිටියේ නමට විතරක්‌ බව. ඒ ඒ පළාත් රාජ්‍යයන් බවට පත්කරගත්ත බලවත්තු රජවරුන් විදිහට පෙනී හිටියා. ඒ වගේ ම, ඒ අය තමන් ගේ රටේ වපසරිය වැඩි කරගෙන මුළු මහත් චීනයේ ම බලවන්තයෝ වෙන අදහසින් එකිනෙකා එක්‌ක කාකොටාගත්තා.

ඉතින්  කියලා හදාගත්ත රටේ රඡ්ජුරුවෝ වරක්‌ තීරණය කළා වෙයි කියලා හදාගෙන තිබුණු රටට පහරදීලා ඒකත් තමන් ගේ අණසකට යටත් කරගන්න. ඒ වෙද්දී  කියන්නේ ශක්‌තිමත්, ඒ වගේම, තරමක්‌ විශාල රාජ්‍යයක්‌. වෙයි කියන්නේ ඊට යාබද රට. ඒක ඒ වෙද්දී තරමක්‌ කුඩායි. ඉතින් ලොකු එකා තමන්ගේ අල්ලපු වත්තේ ඉන්න පොඩි එකාව ගිලින්න හදන එක හිතාගන්න පුළුවන් දෙයක්‌නේ. ඒත් රටක්‌ පොඩි වෙච්ච පමණින් ඒක අල්ලගන්න ලොකු අයට බැහැනේ. ඒකට ඉතින් විවිධාකාර උපක්‍රම යොදන්න ඕන. පුළුවන් තරමින් පොඩි රටේ එවුන් තමන් ගේ පැත්තට නම්මවාගන්න ඕන. උන්ට තෑගි භෝග, තාන්න මාන්න, ගරු සම්මාන වගේ දේවල් පිරිනමන්න ඕන. අල්ලාගන්න ඕන රටක්‌ – ඒ කියන්නේ මැණිකක්‌. ඉතින් ඒ වෙනුවෙන් ඇමට දාන මේ වගේ දේවල් එච්චර වටින දේවල් නෙවෙයි. ඒවා නිකම් ම නිකම් ගඩොල් විතරයි.

ඉතින්  රටේ රඡ්ජුරුවොත් මේ විදිහේ ඇමක්‌ ලෑස්‌ති කළා. ඔහු කළේ වෙයි රටත් එක්‌ක මිත්‍රත්වය ශක්‌තිමත් කරගන්න කියලා මහා තෑගි භෝග කන්දරාවක්‌ වෙයි රටේ රඡ්ජුරුවන්ට යවන එක. ඒ තෑගි භෝග කන්දරාවට හොඳ සෛන්ධව අශ්වයෝ හාරසීයකුත් ඉතා ම අනර්ඝ හරිතමිණි නිර්මාණයකුත් ඇතුළත් වුණා. මේ තෑගි භෝග කන්දරාව දැක්‌ක පමණින් වෙයි රටේ රඡ්ජුරුවන්ට ඇතිවුණේ මහා සතුටක්‌. ලොකු රටකින් පිළිගැනීමක්‌, තෑග්ගත් ලැබුණා ම අපේ අය වුණත් උඩ යනවානේ. ඉතින් වෙයි රටේ ඇමැතිවරුත් තමන් ගේ රඡ්ජුරුවන්ගේ ජයග්‍රහණය, ගැන අපමණ ප්‍රශංසා කරන්න පටන්ගත්තා.

ඒත් එක ඇමැතිවරයෙක්‌ විතරක්‌ මහා කණස්‌සලු මුහුණක්‌ පෙන්නුවා. මෙච්චර ලොකු රටක්‌ අපිට මේ විදිහට ගරු බුහුමන් කරද්දී ඔබ කණස්‌සල්ලෙන් ඉන්නේ ඇයි” කියලා රඡ්ජුරුවෝ ඔහුගෙන් ඇහුවා. ඔබතුමාට මේ තරම් දේවල් දෙන්න ඒ අය පෙළැඹුනේ ඇයි කියන එක ගැන අපි හිතන්න ඕන. පොඩි රටක්‌ ලොකු රටකට කප්පම් ගෙවන එක නම් හිතාගන්න පුළුවන්. ඒත් අපෙන් ඒ තරම් උදව්වක්‌ නැතුව තියෙද්දී ඇයි  රට මේ විදිහට අපිට සලකන්නේ” කියලා ඒ ඇමැතිවරයා තමන් ගේ රඡ්ජුරුවන්ගෙන් ඇහුවා.

ඉතින් වෙයි රටේ රඡ්ජුරුවෝ ඒ ගැන හිතුවා. දේශ සීමාවේ ආරක්‌ෂාව වැඩිකරන්න කියලා ඔහු තමන් ගේ සෙනෙවිවරුන්ට අණදුන්නා. ටික කාලයක්‌ ගතවෙද්දී  රටේ හමුදාව වෙයි රටට පහරදෙන්න පිටත්වුණා. ඒත් දේශ සීමාවට ළඟාවෙච්ච ඒ අය දැක්‌කේ බලාපොරොත්තු නො වූ දෙයක්‌. වෙයි රට ඉතාමත් හොඳින් යුද්ධයට සූදානම් වෙලා. ඉතින් වෙයි රට අල්ලාගන්න බලාපොරොත්තුව අත්හැරලා දාන්න රටේ රඡ්ජුරුවන්ට සිද්ධ වුණා. 1941 දෙසැම්බර් 7 වැනිදා හවායි දූපතේ පර්ල් වරායට පහරදුන්නු ජපන්නු දිගටම හිතුවේ ශාන්තිකර සාගරයේ බලය අල්ලාගන්න වැඩපිළිවෙළක්‌ ගැන. ඒ පහරදීමත් එක්‌ක ඇමෙරිකානු ජනපද සංගමයත් යුද්ධයට මැදිහත් වුණා. යුද්ධයට පැටලුණු කෙනෙක්‌ව විනාශ කරන එක පහසුයි. ඉතින් ඇමෙරිකානු ජනපද සංගමයේ නාවික හමුදා බලය විනාශකරන තවත් යුද්ධයක්‌ ජපාන හමුදා සැලසුම් කර කර හිටියා.

මේ වතාවේ ජපන්නුන් ගේ ඉලක්‌කය වුණේ මිඩ්-වේ (මැද මග) දූපත්. ඒ වගේ කුඩා තැනකට පහරදීලා අල්ලාගන්න දෙයක්‌ ඇත්තෙන්ම නෑ. ඒත් තව වතාවක්‌ හවායි දූපතට පහරදෙන එක පහසු කටයුත්තක්‌ නෙවෙයි. මොකද ඒ වෙද්දී හවායි දූපතේ හමුදා බලය ඉතාමත් ඉහළට තරකරලයි තිබුණේ. ඉතින් හවායිවල ඉඳලා හැතැප්ම දාහකට තරමක්‌ ඈතින් තියෙන මැදමග දූපත්වල යුද්ධයකට ඇමෙරිකානු ජනපද සංගමයේ හමුදා ඇදලා ගත්තොත් ඒ බලය බිඳලා දාන්න පුළුවන්. ඉතින් මේ වැඩේ ඉතාමත් රහසේ සැලසුම් කරන්න ජපන්නු පටන් ගත්තා.

ජපන්නුන් ගේ රහස්‌ පණිවුඩ කියවමින් හිටිය ඇමෙරිකානු ජනපද සංගමයේ බුද්ධි අංශවලට තේරුණා ජපන්නු තවත් ප්‍රහාරයකට සූදානම් වෙන බවක්‌. ඒත් ජපන්නු පහරදෙන්න හදන්නේ කොතැනට ද කියන එක පැහැදිලි නෑ. ජපන්නුන්ගේ රහස්‌ පණිවුඩවලින් කියෑවුණේ ඔවුන් ඒ – එෆ් කියලා තැනකට පහර දෙන්න හදන බවක්‌. ඒත් ඒ- එෆ් කියන්නේ කොතැනද? ඉතින් මේ රහස එළිකරගන්න විදිහක්‌ ගැන ඇමෙරිකානු බුද්ධි අංශ හිතුවා. මේ රහස තමයි මැණික. මේක එළිකරගන්න නම් ගඩොලක්‌ (ඇමක්‌) දාන්න ඕන.

ඉතින් ජපන්නුන් ගේ ඉලක්‌ක වෙන්න පුළුවන් ස්‌ථාන ඇතුළත් රහස්‌ පණිවුඩ යවන්න ඇමෙරිකානු බුද්ධි අංශ පටන්ගත්තා. ඒ එක පණිවුඩයකින් කියෑවුනේ මැදමග දූපත්වල වතුර පිරිපහදු කරන පද්ධතිය අකර්මණ්‍යවෙලා තියෙන හින්දා ඉක්‌මනින් ඒක ප්‍රතිසංස්‌කරණය කළ යුතු බවක්‌. ඒ පණිවුඩය නිකුත් කරලා පැය 24 ක්‌ යන්න කලින් ජපන්නු නිකුත්කරපු රහස්‌ පණිවුඩයක්‌ ඇමෙරිකානු බුද්ධි අංශවලට ලැබුණා. ඒ පණිවුඩයෙන් වාර්තාකරලා තිබුණේ ඒ- එෆ්වල වතුර හිඟයක්‌ තියෙන බවක්‌. ඉතින් ඒ-එෆ් කියලා කියන්නේ මැදමග දූපත් බව ඇමෙරිකානු බුද්ධි අංශ සහසුද්දෙන්ම දැනගත්තා.

ඊට පස්‌සේ ජපන්නු කරපු සැලැස්‌ම මුළුමනින්ම තේරුම්ගන්න ඇමෙරිකානු බුද්ධි අංශවලට පුළුවන් වුණා. ඉතින් ඒ අයත් හොඳ ප්‍රතිප්‍රහාරයක්‌ සැලසුම් කළා. 1942 අවුරුද්දේ ජුනි 4 වැනිදා ඉඳලා ගතවෙච්ච දවස්‌ හතර ඇතුළත සිදුකරපු මැදමග දූපත් යුද්ධයෙන් ජපන්නුන්ගේ බලාපොරොත්තු බිඳලා දාන්න ඇමෙරිකානු ජනපද සංගම් හමුදාවලට පුළුවන් වුණා.

චීන මහජන විප්ලවයේ දී පවා මේ උපක්‍රමය මහා පරිමාණයෙන් යොදාගෙන තිබෙනවා. මහා පා ගමනෙන් පස්‌සේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ බල කේන්ද්‍රය බවට පත්වුණේ යන්-ආන් ප්‍රදේශය. 1936 ඉඳලා 1947 වෙනකල්ම යන්-ආන්වල මේ බලය රැකගන්න කොමියුනිස්‌ට්‌ පක්‌ෂයට පුළුවන් වුණා. ඒත් 1947 අවුරුද්ද මුල් කාලයේ ජාතික පක්‌ෂයේ හමුදාවලින් දිගින් දිගටම එල්ලවෙන ප්‍රහාර හින්දා යන්-ආන් අත්හැරලා යන්න මාඕ ත්ස-තුං තීරණය කළා. ඒ සම්බන්ධ තීරණය මාඕ ප්‍රකාශයට පත්කළේ මේ යුද උපක්‍රමය පැහැදිලි කරමින්. යන්-ආන් කියන ගඩොල ජාතික පක්‌ෂයට භාරදීලා චීනය කියන මැණික අපි අල්ලාගනිමු” කියලා මාඕ ඒ ප්‍රකාශය ඇතුළේ සඳහන් කළා. ඉතින් බලාපොරොත්තු වෙච්ච විදිහටම, අවුරුදු දෙකක්‌ ඇතුළත මුළු මහත් චීනයේම බලය අල්ලාගන්න කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ රතු හමුදාවලට පුළුවන් වුණා. මේ කරන්න පුළුවන් වුණේ සුළු ජයග්‍රහණයක්‌ සතුරාට ලබාදීලා මහා ජයග්‍රහණයක්‌ වෙනුවෙන් සැලසුම් සහගතව කටයුතු කරන්න පුළුවන් වෙච්ච හින්දා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *