Feb 28

පොලිසියෙන් එන විට බේරෙන්න ගෙල වැලලාගත් අපූරු පුද්ගලයෙක්

 බියගම සමඟි මාවත ප්‍රදේශයේ නිවෙසක සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු නිවෙස තුළ ගෙල වැලලාගෙන එල්ලී සිටින බවට දැනගත් බියගම හා මිනුවන්ගොඩ යන පොලීස් ස්ථානවල නිලධාරි විසින් ඔහු එයින් මුදාගෙන ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී. සැකකරු මුදල් වංචා
කිරීම් හා වංචනික ක්‍රියා සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසියට අවශ්‍ය වී සිටි තැනැත්තකු වන අතර මෙසේ සැකකරු ගෙල වැලලාගෙන සිටියේ රඟපෑමකට ද යන්න ගැනත් පොලිසිය සැක කරයි.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා (22දා) රාත්‍රියේ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එම නිවෙසට පැමිණ ඇත. මේ අවස්ථාවේ නිවැසියන් දොර විවෘත නොකළ නිසා නිවෙසේ කවුළු තුළින් නිවෙස ඇතුළත බලන විට සැකකරු ෙගල වැලලාගෙන සිටින අයුරුත් බිරිය ඒ අසලට වී හඬා වැලපෙන අයුරුත් දැක තිබේ. එහිදී එම පොලිස් නිලධාරීන් සිද්ධිය ගැන බියගම පොලිස් ස්ථානයට දැනුම්දී ඇත. ඒ අනුව බියගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ. ඩබ්ලිව්. විජේතිලක හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්‍ෂක කේ. ප්‍රේමලාල් යන නිලධාරීහු එම නිවෙසට ගොස් නිවැසියන්ගේ හිතවතකුගේ මාර්ගයෙන් දොර විවෘත කරවා ගන්නා ලදී. මේ නිවෙස තුළට පොලීසිය යන විට එහි සිටින සැකකරු හුස්ම ගන්නා ආකාරයක් දැක තිබේ. ඒ සමඟම පොලිස් නිලධාරීන් විසින් සැකකරු වහාම බියගම රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත. එතැනින් ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ. 45 හැවිරිදි සැකකරු සම්බන්ධව බියගම හා මිනුවන්ගොඩ පොලිස් ස්ථාන තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *