Jan 01

නිවීම සඳහා යන ගමනේදී හමුවන මාරයාගේ මෙවලම්

Marine tools are found during the flight

බෞද්ධයන් වන අප සැමගේ ඒකායන බලාපොරොත්තුව සසර දුක කෙළවර අවසානයේ නිර්වාණය අවබෝධ කිරීමයි. ඒ සඳහා යන ගමනේදී අනන්ත අප්‍රමාණ දුක්‌ඛදෝමනස්‌සයන් විඳිය යුතුය. ඊට මුහුණදිය යුතුය. අකමැත්තෙන් වුවද ඒ දුක විඳදරාගත යුතුය. ඒ දුක විඳින අතරතුරදී නිවන්මග සොයා යන විට තමා කවුරුද යනුවෙන් (අත්ථානං ගබේසන්බතෝ) සොයා යා යුතුය. අනුන් ගැන සෙවීමේදී අපට හමුවන්නේ ඔහුගේ හෝ ඇයගේ අඩුපාඩු-වැරදි මිස ඊට එහා ගිය යහපත් ගුණ නොවන බවත්ය. මනස උසස්‌කරගත හැකි සත්වයා මනුෂ්‍යයාය. ලොව වෙනත් සතෙකුට නැති විශේෂ හැකියාවද එයයි. එකී හැකියාව ලැබෙනුයේ අපේ සිත දියුණුකර ගැනීමට ඇති අසීමිත ඉඩකඩ ප්‍රමාණය, අවකාශය බහුල වීමයි. එසේ විශේෂ හැකියාවක්‌ ඇති අපි කෙලෙස්‌ නින්දේ ඇලී ගැලී පස්‌කම් සැපයට ලෝභවී අතෘප්තකර ආශාවන් පසුපස යාමට හුරුපුරුදු වී සිටීම නිසා නිවන් මග ආවරණය වී ඇත. නිවීම සඳහා යන ගමනට අපිට තවත් බොහෝ බාධක ඇති බව අවබෝධකර ගත යුතුය. ඒ අතර කාමය, අරතිය, සාපිපාසාව, තෘෂ්ණාව, මාන, ථීනමිද්ද, බියසංකා, ලාබ ප්‍රශංසා, තමා උසස්‌ බව ගුණමකුකම් ආදී මාරයාගේ මෙවලම් පොදියක්‌ද අප සතුව ඇත. ඒවාට අපි බොහෝ ඇලුම් කරයි. ඒ සියල්ලම තමාට අවැඩක්‌ සිදුකරන මාර මෙවලම් බව බව නොදනී. ඒ සියල්ලම නොතකා හරී. තථාගතයන් වහන්සේ මේ සියල්ල ප්‍රමාද වූවන්ගේ ඥතියා වන (සමත්ත බන්ධු) මාරයාගේ මෙවලම් බවත් ඒ තුළින් නිවන් මග අවුරන බවද දේශනා කළ සේක.

නිවීම සඳහා යන ගමනේදී කෙනකුගේ එකම පැතුම විය යුත්තේ දුර්ලබව ලැබූ මෙම මිනිස්‌ භවයේදී ඇලීම් ගැටීම්වලින් තරමක්‌ හෝ නිදහස්‌ වී අවසන් හුස්‌ම පොද හෙලීමයි. ඉන්ද්‍රියන්ට ගෝචරවන සියළුම රූප-ශබ්ද-ගන්ධ-රස-පහස ආදිය පිළිබඳවත්, ඒවායේ ඇති ආදීනව පිළිබඳවත් අවබෝධය ඇතිකරගත යුතුය. නිස්‌සරණයෙන් තමාට වන වාසිය බලා කටයුතු කළ යුතුය. ඒ සියල්ලේ අනිත්‍ය බවත් යමක්‌ අනිත්‍ය නම් එය ඒකාන්තයෙන්ම එය දුකේ ආරම්භය (යදනිච්චං තං දුක්‌ඛං) බව දැනගත යුතුය.

යමෙක්‌ පංචශීලය කඩාදමමින් අනුන්ට ද්වේශ කරමින් එකිනෙකා ඇනකොටා ගන්නා අන්දමට වැඩකටයුතු කරමින්, අනුන් සූරාකමින්, යුද්ධ කරමින්, දරුණු අපරාධ කරමින් නිරා දුක්‌ විඳීමට මංපෙත් විවරකර ගනිමින් කටයුතු කරන්නේද ඒ සියලු දේ තුළ ඇති අනිත්‍ය බව නොදන්නා නිසාය. මේ සියල්ල නිවීම සඳහා යන ගමනේ මාරයාගේ මෙවලම් බව නොදන්නා නිසාය. එකී සියලු මෙවලම් පොදියට ‘මම’ යන ආත්ම දෘෂ්ඨියද ඇතුළත්කරගනී. එවිට ඉන් වන හානිය අනන්ත අප්‍රමාණය. තවද මෙම බාහිර ලෝකයේ ඇති ඇසට හමුවන ලස්‌සන රූප, කනට ඇබසන මිහිරි ශබ්ද දිවට දැනෙන මිහිරි රස, නාසයට දැනෙන සුවඳ, කයට දැබනන මිහිරි පහස ආදිය ඇත්තේ තමා තුළ ඇත අවිද්‍යාවෙන් පිරුණු ආශාවෙන් වෙලුනු අනිත්‍ය වන තම සිත තුළ බව දැකිය යුතුය. එකී ලස්‌සන රූප, මිහිරි ශබ්ද, රස පහස ආදිය පිළිබඳ ගුණකීම බොහෝ සිත ඒ තුළ බැස ගැනීම බෙහෝ ආශාවන් පිළිගැනීම වෙනුවට කළ යුත්තේ ඒ සියල්ල තමාට නිවීම සඳහා යන ගමනට අවශ්‍ය කමටහන් කරගැනීමයි. තමාගේ නිවන් මගට අවශ්‍ය සියළුම කටයුතු කිරීමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය ලංකරගන්නා ගුණදහම්, අත්හරින දේ ආදිය පිළිබඳව දැනගත යුත්තේ තමා පමණි. දෙවැන්න දැනගතහොත් ඒ ක්‍රියාත්මක වන්නේ මාරයාය. මාරයාගේ මෙවලම්ය.

අනේක දුක්‌ විඳිමින් ගිහිගෙදර සියලුම බර උසුලමින් වැඩකරන ගිහියෙකු ඇඟ දවටන ඇඳමෙත් ඇසට පළඳන උපැස්‌ යුවලෙත්, කනකර ආභරණයෙත්, බුලත් කෙළ බැදුනු පඩික්‌කමෙත්, මුත්‍රා කහට බැදුනු වැසිකිළියෙත්, මකුළුදැල් බැඳුනු දාන ශාලාවෙත් නිවීම සඳහා යන ගමනට අවශ්‍ය කමටහන් ඇති බව දැකිය යුතුය. භික්‌ෂුන් වහන්සේට මිරිවැඩි සඟල් පය ලෑමට විනයෙන් අවසර ලැබූ දිනයේ සිට උන්වහන්සේගේ මිරිවැඩිසඟල පරිහරණය වැඩිවිය. එනිසා අරිහත් උතුමන් බිහිවීම අඩුවිය. සුඛෝපබෝගී මෙවලම් පරිහරණයට පුරුදු වූ දා සිට සිවුවනක්‌ පිරිස තුළින් එබත් බිහිව අරිහත් උතුමන්, මගඵල ලාභී පිරිස අඩුවිය.

මිරිවැඩිසඟල් පය දැමූ ගිහියා බහෝ පැවිදි උතුමාට ලැබෙන්නේ සැප තෘෂ්ණාවයි. එනිසා ඔහු වේගවත් ගමන් යයි. එකී වේගය තුළද ඇත්තේ තෘෂ්ණාවයි. උදේ සිට සවස්‌ වන තුරු කය වෙහෙසා වැඩ කරන ඔහු බොහෝ අය සවස වේගයෙන් ගෙදර යන්නේ රූපවාහිනිය බැලීමට නම්, ප්‍රවෘත්ති ටෙලිනාට්‍යය බැලීමට නම් ඒ තුළ ඇත්තේ ඒ වේගවත් වන්නේ තෘෂ්ණාවෙන් යම් ස්‌පර්ශ කිරීමටයි. ස්‌පර්ශයෙන් පසුව යම් වින්දනය කිරීම තුළින් ඔහු ගොඩගසාගන්නේ තෘෂ්ණාවයි. එබස්‌ ගොඩගසාගත් දසුන හෝ භාණ්‌ඩය ඔහු නිරායාසයෙන්ම උපාදානය කරගනී. උපාදානය නිසා භවය හෙවත් විපාක පිණිස කර්ම සකස්‌කර ගනී. ඒ තුළින් ඔහු උපත් කරා ගොස්‌ යළි ජරා මරණ දුකට උරුමයක්‌ කියයි. මිරිවැඩිසඟල හා රූපවාහිනිය නිසා ගිය වේගවත් ගමන සත්වයාගේ දුක උරුමකර ගැනීමට ගිය ගමන් විය.

නිවීම සඳහා යන ගිහියා අවම අවශ්‍යතා, අවම බඩු මෙවලම් පරිහරණයට හුරුවිය යුතුය. (ඇඳුම් දෙකක්‌ පුටුවක්‌ ඇඳක්‌ ආදී වශයෙන්) නිවීමට යන භික්‌ෂුන් වහන්සේ තුන් සිවුර පාත්‍රය සෙනසුන පමණක්‌ තබාගත යුතුය. මේ දෙදෙනාම බොහෝ බඩු භාණ්‌ඩ ඇත්තේ පරිහරණය කරයි නම් ඒ සියල්ලම මාරයාගේ මෙවලම්ය. තොණ්‌ඩුය. අන් අයගේ බර නිදහස්‌ කිරීමට පෙර තමාගේ බරින් නිදහස්‌ විය යුතුය. යමෙකුගේ අනවබෝධය නිසා කාම ලෝක, අරූපී ලෝක දක්‌වා මහා මන්දිර ගොඩනගා සිටියද බලාපොරොත්තු ඇතිකරගෙන සිටියද ඒ සියල්ලටම ගොඩවීමට ඇතිs එකම මාර්ගය තෘෂ්ණාව නමැති ඉණිමඟයි. කෙසේ හෝ එසේ යන විට පය පැටලී වැටුනොත් වැටෙන්නේ සංසාරයේ මහ ගෙදර වන සතර අපායටයි. එහි වැටී යටවී දුක්‌විඳින්නේ ඒ ඔහු විසින්ම නිර්මාණය කරගත්, සාදාගත් භව ගොඩනැඟිල්ල කඩා වැටී එයට යටවී ඇති බව දැනගත යුතුය. එනිසා නිවීම සඳහා යන ගමනේදී අනුගමනය කළ යුතු ඉතාම පහසු ක්‍රියාපටිපාටිය මෙය බවත් ඒ සඳහා මායාවේ මෙවලම් පොදිය ඉවත දැමීමටත් ඔහුගේ මාර තොණ්‌ඩුව තුළින් ගිලිහී යාමටත් සැමදෙනාම උත්සාහ කළ යුතුය. එසේ ගිලිහී යාමට නම් අවිද්‍යාවෙන් වෙලී ගිය තණ්‌හාවෙන් බැඳුණු සිතට එන අරමුණු පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ක්‍රියාකළ යුතුය. නිවීම සඳහා යන ගමනේදී අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වුවහොත් ජයග්‍රහණය මාරයාටයි. පරාජය ඇයට හෝ ඔහුට අකමැත්තෙන් වුවද භාරගත යුතුය.

සැමට තෙරුවන් සරණයි

අංකුඹුර.

ආර්. අනුර පියතිස්‌ස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *