Mar 15

උන්මත්තක සෞදි හාම්පුතාගේ වෙඩි පහරින් මියගිය වඳුරඹ ප්‍රියංකා

උන්මත්තක සෞදි හාම්පුතාගේ
වෙඩි පහරින් මියගිය
වඳුරඹ ප්‍රියංකා

ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග ගෘහ සේවයට යන්නන්ට සිදුවිය හැකි ජීවිත අවදානම් තත්වය ගැන යළි මතක් කළ සිදුවීමක් පසුගියදා සිදුවිය. පසුගිය සෙනසුරාදා සෞදියේ හාම්පුතකුගේ උන්මත්තක පුතකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ගාල්ල වඳුරඹ කටුබුරාව ප්‍රදේශයේ අබේසුන්දවත්තේ පදිංචිව සිටි 38 හැවිදි ප්‍රියංකා ජයසේකර මියගියාය.
තිදරු මවකවූ ඇය ආර්ථික ප්‍රශ්න නිසා කිහිප වරක්ම රට ගොස් නැවත පැමිණි අයෙකි. එක් එක් අවස්ථාවල ඇය විවිධ සේවා ස්ථාන වලට ගොස් තිබේ. සෞදි අරාබියේ බූරේද්හ් හිදී  ඇය ඝාතනය වී ඇත්තේ හාම්පුතාගේ මානසික රෝගයකින්
පෙළෙන 31 හැවිරිදි පුතා අතිනි.  දඩයම් කිරීම සඳහා යොදාගන්නා ගිනි අවියකින් මෙසේ ඇයට වෙඩි තබා පසුව ඔහුද වෙඩි තබාගෙන ඇති බවත් වාර්තා විය.
‘එයා රට ගියේ අපේ පවුල ජීවත් කරන්න. අපිට ඉන්නේ දූලම තුන්දෙනෙක්. එක්කෙනෙක් නම් බැඳලා. දෙවැනියා තාම පාසල් යනවා. එයා ඉන්නේ අට වසරේ. තුන්වැනියාට අවුරුදු 08යි. මේ දෙන්නම  ඉස්කෝලේ ඉගෙන ගන්නවා. මගේ බාල දරුවා හදවත් රෝගියෙක්. එයාගේ පපුවේ හිලක් තියනවා කියලා බේත් කරනවා. එයාගේ බේත්හේත්වලටම තමයි අපි ණය වුණේ. ඒ දරුවාව හොඳ කරන්න තමයි අපේ සේසතම වියදම් වුණේ.‘ ඇඬූ­ කඳුළෙන් මෙසේ පවසන්නේ මහත්මියගේ සැමියා වූ. එල්. ජී. උපුල් (47) මහතායි.
ඔහු තවදුරටත් මෙසේ කියයි.

‘මගේ නෝනා මීට කලින් කීප වතාවක් විදේශගත වුණා. ඒ හැම වතාවෙම වසර 02 බැගින් තමයි හිටියේ. අවසාන වරට ලංකාවට ආවේ 2009 අවුරුද්දේ. පස්සේ මේ සැරේ යන්න වුණේ මේ දරුවාගේ බෙහෙත් හේත්වලට වැඩි වියදමක් ගිය නිසා. මේ ගමනට අපි මුලින් කැමැති වුණෙත් නෑ. ඒත් කලින් ගිහිල්ලා ඇවිල්ලා තියන නිසා පස්සේ අප කතා කරගත්තා මම ළමයි බලා ගන්නම් කියලා. දූලා දෙන්නව හොඳ ඉස්කෝලෙකට දාන්නම්. අලුත් පොත් බෑග් අරගෙන එන්නම් කියලා ඔළුව අතගාලා එයා ගියේ.”

මේ සැරේ ගිය වෙලේ ඉඳලම ප්‍රශ්න. ණය වෙලා තමයි යන්න අවශ්‍ය දේවල් ලෑස්ති කළෙත්. බය නැතිව ණය වෙලා ඒවා කළේ කලින් ගිහින් ආපු නිසා.

හැබැයි මේ සැරේ ගියපු දවසේ ඉඳලා කතා කළේ නෑ. ඒ පාර මම හැමතැනම දිව්වා නෝනා හොයාගන්න. අපිට තිබුණු ප්‍රශ්න මදිවට ඒ පාර තව ප්‍රශ්නයක් ආවා. ඒජන්සිය උදේ අරින කොටම එතැනට ගිහිල්ලා අහනවා. බැරිම තැන තමයි විදේශ සේවා එකේ පැමිණිල්ල දැම්මේ. ඒ පාර එතන මැඩම් කෙනෙක් ඒක විභාග කළා. විභාග කරලා මාසෙකට සැරයක් අපිට කතා කරන විදියට හදලා දුන්නා. ඒ පාර කතා කරලා පඩි එව්වා. හැබැයි කඩින් කඩ එව්වේ. එයා කතා කරන කොට කිව්වා මෙතන කරදර නිසා ගෙදර මාරු කරන්න කියල පැමිණිල්ලක් කළා කියලා. නමුත් එයා මාරු කරලා තිබුණේ නෑ.
ඔය පැමිණිලි දාලා මොනවා කළත්

මේ මාස 06න් තුනයි එයාට පඩි ලැබුණේ. කතා කරපු වෙලාවක මම ඇහුවාම කිව්ව.

හාම්පුතා නැති නිසා එයා අවාම පඩි දෙනවා කිව්වා කියලා. අපිට අවසන් මාස 03කින් පඩි ලැබුණේ නෑ. පසුගිය මාසේ 10 දා තමයි අන්තිමට එයා මට කතා කළේ. දරුවෝ දෙන්නා බලාගන්න කිව්වා. පන්සලේ දානේ ළඟ නිසා ඒක ලෑස්ති කරන්නත් කිව්වා. පොඩි දරුවාගේ බෙහෙත් වෙලාවට දෙන්න කිව්වා.

දරුවාගේ කෑමවල අඩුවක් කරන්න එපා කියලත් කිව්වා. ගේ ඩිංගක් හදාගන්න ඕන කියලත් අපි කතා කළා. ඒත් මම ඇහුවා දැන් පඩි නැතිව සල්ලි කොහොමද කියලා. පඩි ලැබුණු ගමන් සල්ලි එවන්නම් කියලා කිව්වා. ඉක්මනටම ෆෝන් එක තිබ්බා. එදායින් පස්සෙ කතා කළේ නෑ. මම සුළු සුළු වැඩ කර කර හිටියේ. නමුත් එයා ගියාට පස්සේ මං දරුවන් බලාගෙන හිටියා. එයාට අවශ්‍ය වුණේ අපේ පොඩි දරුවාව කොහොම හරි සනීප කරගන්න. අද ඒ ඔක්කොම වතුරේ ගියා. අපි ගේ හදාගන්න හිටියා. ඒවා මුකුත් කරගන්න බැරි වුණා.‘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *