Dec 22

බෙත්ලෙහෙම්පුරේ ජාති භේද නැති ගී සංකල්පයක්‌ – ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී

“අද වෙයි ඉරු දින
 
 ඔබ හමුවේවිද..
 
 ඔබ හා බැඳි හද
 
 අද නොතැවේවිද….”

වර්තමානයේ අපට අසන්නට ලැබෙන ඒකාකාරී සහ ඝෝෂාකාරී සංගීතයටත් හරසුන් වූ ලඳ බොළඳ ගී පදවැල්වලටත් සැමදාම අභියෝගයක්‌ වූ අතීත ගී මිහිර සහ එම ගීත ගායනා කරනු ලබන ගායන ශිල්පීන් අතර අද අප කතා නායකයාට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. එදා 1972 කණ්‌ඩායම් සංගීතයට එක්‌ව ගායන ලෝකයට බෞතිස්‌මය ලද ඔහු, අද සිය සංගීත චාරිකාවේ දශක හතර ද ඉක්‌ම වූ ප්‍රවීණතමයෙකි. සියයකට අධික ගීත ප්‍රමාණයක්‌ ගායනා කරමින් ගී රසකාමී දෙසවන් සනසමින් ඔවුන්ගේ හදවත් මුසපත් කළ මේ ළයාන්විත ගායන ශිල්පියා ලොවට සාමය කැන්දවූ සාමයේ කුමරුගේ උපත සිsහිපත් කරන මේ අසිරිමත් නත්තල් සමයේදී කිසිවිටක අමතක කළ නොහැකි කලා ශිල්පියෙකි. එමෙන්ම නත්තල් ගීත වැඩිපුරම ගැයූ ගායන ශිල්පියා වන්නේ ද ඔහුය. සුවහසක්‌ වූ සිය ආදරණීය ගී රසකාමීන්ට මෙවර නත්තල වෙනුවෙන් ද ගී 12 ක්‌ අන්තර්ගත ‘බෙත්ලෙහෙම්පුරේ’ සංයුක්‌ත තැටිය පිළිගන්වන මොහොතක ඒ ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පියා වන කලාභූෂණ අනිල් භාරතී වෙනුවෙන් ‘දිවයින සිනමා කලා’ මෙලෙස ඉඩ හරසර වෙන් කළෙමු. මතු දැක්‌වෙන්නේ ඔහුත් අපත් අතර ගලාගිය ළෙන්ගතු කතා බහේ සංක්‍ෂිප්ත සටහනයි.

අනිල් භාරතී කියන්නේ නත්තල හා සබැඳි නාමයක්‌. ඒ ගැන පවසමින් මේ කතා බහට ප්‍රවේශ වුවහොත්…..

ඇත්ත… නත්තල සමඟÊමට ලොකු නෑකමක්‌ තියෙනවා. මම එහෙම කියන්නේ නත්තල වෙනුවෙන් වැඩිපුරම ගී ගැයූ ගායන ශිල්පියා මා නිසාවෙන්. ඒ පිළිබඳව මට අහිංසක වූ විශාල සතුටක්‌ තියෙනවා. මම වසර තුනක ඉඳලා නත්තලට මගේ සුවිශේෂී ගීත එකතුවක්‌ රසිකයන්ට ලබා දෙනවා. මේ නත්තල වෙනුවෙනුත් ‘බෙතේලෙහෙම්පුරේ’ නමින් ගීත 12ක සංයුක්‌ත තැටියක්‌ එළිදක්‌වා තිබෙනවා. ‘බෙත්ලෙහෙම්පුරේ’, බෙත්ලෙහෙමේ සීතලේ’, ‘නිසල රැයක’, ‘ජුදා පුරේ’, ‘පුළුන් වගේ නේ’ ඇතුළු මගේ ජනප්‍රිය වූ ගීත 12 ක්‌ එහි අන්තර්ගතව තිබෙනවා. මේ සංයුක්‌ත ගී තැටිය ජාති භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට රසවිඳිය හැකියි. තෑගි දෙන්න වුණත් පුළුවන්. ඒ කාලේ නත්තලට මීගමු පුරවරයේ පියතුමන්ලා අපි ලවා නත්තල් කැසට්‌ පට නිකුත් කළා. ලතා වල්පොල, මර්වින් පෙරේරා, ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද සහ මා ඇතුළු අපේ බොහෝ ප්‍රවීණයන් ඒ වෙනුවෙන් ගීත ගායනා කළා. එදා තිබුණු කැසට්‌ යුගය දැන් නැතත් ඒ තෝරාගත් මගේ ගීත 12 ක්‌ තමයි මේ සංයුක්‌ත ගී තැටියෙන් මගේ රසිකයන්ට මෙවරත් ලබා දෙන්නේ. මම නත්තල් ගීත 50 – 60 ක්‌ විතර ගායනා කර තිබෙනවා. ඒ බොහෝ ගීත මහජනයා අතරට ගිය ඔවුන්ගේ හදවත් ඇද බැඳ ගත් ගීත.

මේ ඔබ ගෙවමින් පසුවන්නේ ඔබේ ගීත චාරිකාවේ හතරවැනි දශකය. ඒ පිළිබඳවත් යමක්‌ පැවසුවොත්……

ඔව්. මම සංගීත ලෝකයට ඇතුළු වුණේ 1972 දී කණ්‌ඩායම් සංගීතය සමග. ක්‌ලැරන්ස්‌ විඡේවර්ධන නම් වූ සොඳුරු සංගීතවේදියාණන් තමයි මට ඔහුගේ ‘ගෝල්ඩන් චයිම්ස්‌’ සංගීත කණ්‌ඩායම හරහා අවස්‌ථාව ලබා දුන්නේ. ඒ කාලේ අද වගේ නෙවී කණ්‌ඩායම් සංගීතයට විශාල තැනක්‌ තිබුණා.

කල්පයක්‌ ගියත් අමතක නොවන ‘අද වෙයි ඉරු දින’ ඔබේ මුල්ම ගීතය ගායනා කෙරෙන්නේ මේ කාලයේදී…

ඔව්… ‘අද වෙයි ඉරු දින’ තමයි මගේ ගායන දිවියේ ආරම්භය. මේ ගීතය ලියා සංගීතවත් කළේ ක්‌ලැරන්ස්‌ විඡේවර්ධනයන්. ඊට පස්‌සේ මා ආදරෙයි නංගියේ, සඳුයි තරුයි, මා මුලින් ලියූ පෙම්පත, බෙත්ලෙහෙම්පුරේ, ටිකිරි මලී පාසල් ගිය පොඩි අඩි පාරේ, ඇතුළු ඉතාමත් ජනප්‍රිය වූ ගීත රැසක්‌ මා විසින් ගායනා කළා. මේ ගීත අතරින් බොහොමයක්‌ ලියා සංගීතවත් කළේ ක්‌ලැරන්ස්‌ විඡේවර්ධනයන් විසින්. මගේ ඕනෑම ගීතයක්‌ අදත් අන්තර්ජාලයේ යූ ටියුබ් වෙතින් අහන්න දකින්න පුළුවන්.

දකින්න පුළුවන් කිව්වේ, ඔබත් ගීතවලට ‘විෂුවල්’ කළා කියන එක…

ඔව්. ඒ කාලේ විකාශය වුණු ‘නන්දන වින්දන’ සංගීත වැඩසටහන වෙනුවෙන් මම ගීත කීපයකට රූප රචනා එකතු කළා. ටිකිරිමලී, බෙත්ලෙහෙම්පුරේ, අද වෙයි ඉරු දින, වගේ ගීත කිහිපයක්‌ ඒ අතර තිබෙනවා. ඒ කාලේ නාළිකාවල මේ ගීත දිගටම ප්‍රචාරය වුණත් දැන් නම් දාන්නේ නත්තලට විතරමයි.

එදා අප ඇසූ හරවත් සහ සොඳුරු ගී නිර්මාණ වර්තමානයේ නොඇසෙන ගානයි නේද…?

ඔව්. මේ තත්ත්වය උදා වී තිබෙන්නේ තාක්‍ෂණය මතම යෑපෙන්න යන නිසාවෙන්. අද ඕනෑම ගායකයකුට වැරදි වහගෙන ඉදිරියට යන්න තාක්‍ෂණය උපකාර වෙලා තියෙනවා. නමුත් අපි ආවේ දක්‍ෂතාව තිබුණු නිසා. අපි වැරදි හදාගත්තා මිසක වහගන්න උත්සාහ කළේ නැහැ. අද තියෙන බොහෝ ගීත නිර්මාණ හරසුන් පදවැල් වලින් පිරී තිබෙන නිසා තමයි අපේ කාලයේ තරම් සුන්දර නැත්තේ. අද බිහිවෙන ගායන ශිල්පීන්ගේ ගීත වගේම නමත් දිනයෙන් දෙකෙන් අමතකව යනවා. හරියට ආවා ගියා වගේ. බෝහෝ අය කෘතීම ගායකයෝ. සමහර වෙලාවට මේ අයව පුම්බමින් මාධ්‍ය කරන්නේ ලොකු අසාධාරණයක්‌. මාධ්‍ය කරන්නේ නවකයන්ව බොරුවට පුම්බමින් ඔවුන්ගේ ආර්ථිකය දියුණු කර ගැනීම. එදා ගීතයකට රූප රචනයක්‌ කරන්න මාධ්‍ය අපේ ළඟට ආවා. අද ඒ අය කියනවා ගායකයාට විෂුවල් හදාගෙන එන්න කියලා. අපිට ඒ තත්ත්වයට වැටෙන්න බැහැ. මොකද අපි ඉන්නේ වර්තමාන පරපුරේ නෙවීනේ. අපි අපේ ගමන යන්න පුළුවන් ස්‌ථාවරය හදාගත් අය. අද ඉන්න අලුත් පරපුරේ එකකු දෙන්නකු හැර හැමෝම ඉන්නේ ඉදිරියක්‌ නැති ගමනක. අද සමහර පුත්තු ගීත ගයලා ජීවත් වෙන්නේ තාත්තා නිසා. ඔවුන්ට තමන්ට ආවේණික ගමනක්‌ නැහැ.

ඔබත් පුතුන් දෙදෙනෙකුගේ පියෙක්‌ ඔවුන් මේ ගීත කලාවට දායාද කිරීමේ සූදානමක්‌ නැතිද…?

අපෝ මේ සංගීත කලාව කියන්නේ බොහොම භයානක තැනකට. මොළේ නැතිව ගමන් කළොත් වෙන්නේ නැති වෙන එක විතරයි. මම මගේ දරුවන්ට දුන්නේ අධ්‍යාපනය විතරයි. නමුත් ඔවුන් දක්‍ෂ නම් ගියාට කමක්‌ නැහැ. මගේ පුතුන් දෙදෙනා වන රුචිJද්‍ර සහ ලක්‍ෂාන් ඔස්‌ටේ්‍රලියාවේ අධ්‍යාපනය හදාරා දැන් එහිම රැකියාවල නිරත වෙනවා. අපි පුqළුවන් හැම වෙලාවකම බලන්න යනවා.

දුම්රියේදී බැඳි ආදරය “සඳයි තරුයි රැයයි හිරුයි” වගේ කියලා ඔබ කිව්වා මට මතකයි වගේ…

ඔව්නේ. මට රූපාව දකින්න ලැබුණේ දුම්රියේදී. ඒ කාලේ මම රිචඩ් පීරිස්‌ එකේ වැඩට යනවා. ඉතිං කෝච්චියේ යනකොට පටන් ගත්ත දිගු ආදරයක ප්‍රතිඵලය තමයි මේ. දැන් අපේ විවාහ ජීවිතයට වසර 40ක්‌ ගෙවී අවසන්. අපි සතුටින් ජීවිතය විඳිනවා. ඇයටත් ගීත ගායනා කරන්න පුළුවන්. ‘සඳයි තරුයි… රැයයි හිරුයි’ ගීතය රූපා මා සමඟÊගායනා කරනවා. මේ ගීතයත් ලිව්වේ ක්‌ලැරන්ස්‌.

ඔබ අලුත් ගී නිර්මාණ එළිදක්‌වන්න මැලිකමක්‌ දක්‌වන බව පැවසුවා…

අලුත් නිර්මාණ කළාට මිනිස්‌සු ගන්නේ නැහැ. අද අන්තර්ජාලයෙන් තමයි බොහෝ දෙනා ගීත අහන්න පුරුදුවෙලා ඉන්නේ. අනික ඔවුන්ට ගී අහන්න වෙලාවක්‌ නැහැ. ඇහුනොත් මිසක අහන්නේ නැහැ. කොහොමටත් මගේ ලොකු බලාපොරොත්තු නැහැ. මම දෙවියන්ගේ කැමැත්තට අනුව ජීවත්වන පුද්ගලයෙක්‌. අපිට අද ලොකු ඉල්ලීමක්‌ තියෙන්නේ පිටරටවල ඉන්න අපේ රසික පිරිසගෙන්. ඔවුන්ට අපේ ගී හඬ ‘ලයිව්’ අහන්න ආසයි. මම ඒ රසිකත්වයට ගී ගැයීම වෙනුවෙන් රටවල් 28 කට ගිහින් තියෙනවා. ඉදිරියට ඒ සංඛ්‍යාව වැඩිවෙන තත්ත්වයක්‌ තමයි තිබෙන්නේ.

එකමුතුකම ගජමුතුවලටත් වඩා වටිනවා කියමින් රට වටා සංගීත චාරිකා ගිය කාලය අදත් මතකයෙන් නොමියෙන බව පැවසුවා….

සත්තකින්ම. එදා ගායක ගායිකාවන් වන අප අතර තිබුණු සහෝදරත්වය මට කවදාවත් අමතක කරන්න බැහැ. මම සංගීත චාරිකාව ආරම්භ කළේ මේකේ හිටිය පතාක යෝධයන් සමඟ. එදා අද වගේ පාරවල් ගානේ සංගීත සංදර්ශන තිබුණේ නැහැ. අපි හැමෝම ගියේ එදා තිබුණු ‘සියෑක්‌’ බසයේ නැඟලා. ඒක බොහෝම විනෝදකාමී වගේම එකමුතුකමින් ගිය ගමනක්‌. අද ඒ එකමුතුව තියෙනවාද කියලා ප්‍රශ්නයක්‌. ජෝති, එම්.එස්‌, බෙග්, ප්‍රෙඩී, ලතා, ඇන්ජලින් මට මතක නම් කිහිපයක්‌ පමණයි. අපි හැමෝම අර කිව්ව එකම බසයේ තමයි ප්‍රසංගවලට පිටත්ව ගියේ. පාන්දර 5.00 ට ගමන ආරම්භ වෙනවා. රෑ 7.00 ට විතර සංගීතය පටන් අරන් රෑ 12.00 ට ඉවර වෙනවා. අද පටන් ගන්නේ රෑ 12.00 ට. ඒ වගේම එදා අපේ කිසිවෙක්‌ මුදලට මුල් තැන දුන්නේ නැහැ කියලා සිහිපත් කරන එක වටිනවා. ජනප්‍රියතාව පිටුපස ගියෙත් නැහැ. ඒ සියල්ල අප කරා පැමිණියා. නමුත් අද තත්ත්වය ඔබට කිව යුතුද?

කලාකරුවාට වාර්තමානයේ තිබෙන පිළිගැනීම පිළිබඳවත් ඔබට යමක්‌ කීමට ඇති බව පැවසුවා….

ඔව්. අද අපේ රටේ කලාකාරයො බොහොමයක්‌ අසරණව සිටිනවා. සමහරු ඒ තත්ත්වයට වැටී තිබෙන්නේ ඔවුන්ගේම වරදින්. ඔවුන් ජනප්‍රියව සිටි කාලයේ මුදල් තිබුණු නිසා අනාගතය සකසුරුවම් කළේ නැහැ. එදා උපරිම සැප විඳලා අද දුක්‌ විඳිනවා. කොහොමටත් අපේ අසරණ කලාකරුවාට මේ රටේ වගකිව යුත්තන් යමක්‌ කරනවාට වඩා කරන්නේ කරන කෙරුවාව ගැන කියව කියවා ඉන්න එක විතරයි. හොයලා බැලුවොත් කරපු දෙයක්‌ නැහැ. අඩු තරමේ පෙන්ෂන් ක්‍රමයක්‌වත් රජයෙන් නැහැ. දැන් ගායක සංගමයෙන් තෝරාගත් ශිල්පීන් 40කට පෙන්ෂන් ක්‍රමයක්‌ හදලා තියෙනවා. මාසෙකට රුපියල් පන්දාහක්‌ ලබා දෙනවා.

ඔබේ ගායන දිවිය දෙස නැවත හැරී බැලුවොත් කුමක්‌ද කියන්නට ඉතිරිව තිබෙන්නේ…?

මම මගේ ස්‌ථාවරය හදාගත් ශිල්පියෙක්‌. ඒ ගැන මට ලොකු තෘප්තියක්‌ තියෙනවා. සාමදාන විනිසුරු සහ කලා භූෂණ කියන තානාන්තර ලැබී තිබෙනවා. අතීතය ගැන ලොකු සතුටක්‌ තිබෙනවා. තනිකම ටිකක්‌ දැනෙන්නේ දරුවෝ පිටරට නිසා. මම අදටත් ප්‍රසංගවලට සහභාගි වුණත්, ඝෝෂාකාරී සංකර සංගීතවලට යන්න ආසාවක්‌ නැහැ. අද සමහර සංදර්ශනවලට එන්නේ බීලා පිස්‌සු නටන රසික පිරිසක්‌. එදා සංගීතයක්‌ බලන්න ආවේ පවුල් පිටින්. ඒ සංගීතයේ රසය නියමාකාරයෙන් විඳින්න. නමුත් අද ඒකත් වෙනස්‌ වෙලා.

ඔබේ නත්තල් ගී තිළිණය ලබා ගත හැකි ස්‌ථාන පිළිබඳව නැවත මතක්‌ කළොත්….

‘බෙත්ලෙහෙම්පුරේ’ සංයුක්‌ත ගී තැටිය වෙළෙඳපොළට නිකුත් කරලා තියෙන්නේ. කතෝලික පොත්හල්වල සහ දේවස්‌ථානවල පූජා භාණ්‌ඩ නිකුත් කරන ස්‌ථානවලින් ලබා ගත හැකියි. 0777748503 අංකයෙන් තවත් තොරතුරු විමසිය හැකියි.

සුජීව තත්සර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *