Dec 21

වයිබර් අපරාධ

Viber crimes

තාක්‌ෂණය දියුණු වීම හොඳට මෙන්ම නරකටද බලපායි. එය යහපතට මෙන්ම අයහපතටද යොදා ගත හැකිය. වයිබර් තාක්‌ෂණය භාවිතා නොකරන ජංගම දුරකථන හිමියෙක්‌ සොයා ගැනීමද අපහසුය. එය රහස්‍ය වැඩ සඳහා වඩා උපකාරී වේ. හිටපු ජනාධිපතිනිය ඉන්දීය මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ රාජපක්‌ෂ පාලනය බිඳ වැට්‌ටවීම සඳහා සිදු කළ රහස්‌ සාකච්ඡා සඳහා වයිබර් ඇමතුම් මහත්සේ උපකාර වූ බවය. වයිබර් ඇමතුම් කිසිවකුට රහසේ සවන්දිය නොහැක.

ආණ්‌ඩු පෙරළීම හෝ ආණ්‌ඩු තැනීම කවරක්‌ වේවා විභාග වංචාවලටද වයිබර් තාක්‌ෂණය යොදා ගන්නා බව පෙනේ. මෙය යහපත් ප්‍රවණතාවක්‌ නම් නොවේ. අනුරාධපුරයේ ප්‍රධාන පාසලක අ. පො. ස. සා. පෙළ විභාග අපේක්‌ෂකයකු වයිබර් තාක්‌ෂණය උපයෝගි කරගෙන විභාග වංචාවක නිරත වෙද්දී අදාළ බලධාරීන්ගේ අතටම හසු වී ඇත. මීට පෙරද වයිබර් තාක්‌ෂණය යොදා ගෙන උසස්‌ පෙළ සිසුවෙකුද වංචා සහගත ලෙස ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියද්දී හසු වී තිබේ. විභාග දෙපාර්තමේන්තුවටද නව අභියෝග රැසකට මුහුණ දීමට සිදු වන බව මෙහිදී පෙනී යයි. ඒ කවරක්‌ද? වයිබර් හොරු මැඬලන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

දැන් විභාග මධ්‍යස්‌ථානවල කිසිම විද්යුත් උපකරණයක්‌ ළඟ තබා ගැනීමට ඉඩ ලැබෙන්නේ නැත. එසේ නම් මේ ශිෂ්‍යයන්ට ජංගම දුරකථනයක්‌ ළඟ තබා ගැනීමට හැකි වූයේ කෙසේද? ජංගම දුරකථනය රහසේ තබා ගැනීමට සහයක්‌ ලැබුණේද? මේ ගැනත් සොයා බැලිය යුතුය. වයිබර් විභාග වංචා ගැන පරීක්‌ෂණ කිරීම අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත. එය පැසසිය යුත්තකි. මේ වංචා මුලින්ම මැඬලීමට අපහසු වුවහොත් එය පිළිලයක්‌ වීමට බැරි නැත. දුක්‌ මහන්සියෙන් දිවා රෑ නොබලා පාඩම් කර ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන අවංක සිසුන්ට කිසිම අසාධාරණයක්‌ සිදු විය යුතු නැත. ඒ නිසා වයිබර් හොරු මැඬලීම අත්‍යාවශ්‍යය. කොරියානු භාෂා විභාගයේදීත් ජංගම දුරකථන ළඟ තබා ගෙන උත්තර ලිවීම හසුවීම නිසා දැන් සෑම විභාග අපේක්‌ෂකයකුම පොලිසිය යොදවා දැඩි පරීක්‌ෂාවට ලක්‌ කරයි. ඒ කොරියානු විභාගය කෙසේ වෙතත් මේ වංචාවන් අ. පො. ස. සා. පෙළටත් බෝ වී ඇත. මෙහෙම ගියොත් ඉදිරියේදී වාර විභාගයටත් වයිබර් තාක්‌ෂණය යොදා ගෙන විභාග ලියනු ඇත.

වංචා සහගතව විභාගයට පිළිතුරු ලියා ලැබිය හැකි ජය කුමක්‌ද? සන්සුන් මානසිකත්වයකින් විභාගයට පිළිතුරු ලිවීමට හැකියාව ලැබෙන්නේ නැත. සැකය, භීතිය නිසා දන්නා ලෙහෙසි ප්‍රශ්නවලටද පිළිතුරු ලිවීමට අපහසු වේ. මෙය සැබවින්ම තමන් විසින්ම සිය ගෙල සිඳ ගැනීමක්‌ ලෙස සටහන් කළ යුතුය. අනුරාධපුර ශිෂ්‍යයාද ඔහුගේ හැසිරීම නිසා බලධාරීන්ගේ උකුසු ඇසට හසුව තිබේ. මේ නිසා සිදු වන්නේ කුමක්‌ද? මුළු ඉදිරි අනාගතයම අදුරු වීම නොවේද? ඒ නිසා නව තාක්‌ෂණය අයහපතට යොදා ගැනීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට කල්පනා කිරීම බරපතළ වරදකි. අපරාධයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *